රණවිරු කෘෂි නිශ්පාදන අලෙවි පොළක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී...

විශ්‍රාමික රණවිරු සුභසාධක ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාමික රණවිරුවන් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ තවත් පියවරක්  පෙරට තබමින් රණවිරු කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපොල ඉල්ලුම මැන බැලීමේ නියමු කෘෂි බෝග අලෙවි පොලක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී 2018 අගෝස්තු මස 27 වන දින පවත්වන්නට යෙදුණි.  

ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ අදහසකට අනුව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වෙළඳපොළ පැවැත්වීම සඳහා සංවිධානය කර තිබුණි.

ත්‍රිවිධ හමුදාවේ තම සක්‍රිය සේවා කාලය නිම කරමින් විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් සේම ක්‍රියාන්විතයේදී ආබාධිත වූ රණවිරුවන් ද මේ වන විටත් කෘෂි ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණ සිටීම පැසසිය යුත්තකි. එසේම සක්‍රියව සේවයේ යෙදී සිටින රණවිරුවන් තම සේවා කාලය තුළදීම කෘෂි බෝග වගාව සඳහා නියැලෙමින් කටයුතු කරන අතර මෙම රණවිරු නිශ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව අනාවරණය විය.

විවිධ එළවලු, පළතුරු, මල් හා විසිතුරු පැල මෙන්ම දේශීය සහල් නිශ්පාදනය සඳහා ද රණවිරුවන් යොමුව තිබීම විශේෂත්වයකි. එමෙන්ම, දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් විවිධ ආහාර නිශ්පාදන කරමින් රැකියා විරහිත තරුණ තරුණියන්ට මෙන්ම රණවිරුවන් උදෙසාද රැකියා අවස්ථා බිහිකිරීමටද මෙම රණවිරුවන්ට හැකියාව ලැබී ඇත.

මෙම කෘෂි අලෙවි පොළ සඳහා සීමිත රණවිරුවන් පිරිසකගේ කෘෂි නිශ්පාදන හඳුන්වා දීමක් සිදු කළ අතර මේ සඳහා දායකත්වය දැක්වූ රණවිරුවන් සහ ඔවුන්ගේ නිශ්පාදන පහත පරිදි වේ.

  •      මාතර, ජයදි ෆුඩ් ප්‍රඩක්ස් - නිමල් ජයවර්ධන මහතා, විශ්‍රාමික රණවිරු.
  •      විශ්මිත දසබල ( කරපිංචා නිශ්පාදන) - ඩබ්. එම්. එම්. මාලන් දබරේරා මහතා, විශ්‍රාමික රණවිරු
  •      සක්සස් ෆ්ලවර්ස් (විසිතුරු මල් පැල හා කාබනික පොහොර) - ඩබ්. එන්.එස්. ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික රණවිරු   
  •      සී.පී.කේ. ඕකිඩ්ස් - කුසුම්සිරි ලියනගේ මහතා, විශ්‍රාමික රණවිරු   
  •      විසිතුරු මල්පැල තවාන - ඊ.ජී.එස්. ජයතිලක මහතා, විශ්‍රාමික රණවිරු   
  •      එළවලු හා පළතුරු පැල නිශ්පාදනය හා අලෙවිය - එල්.ඩබ්.ඩබ්.එස්.කේ. සිරිවර්ධන මහතා, විශ්‍රාමික රණවිරු   
  •      මීමැසි පාලනය හා ආශ්‍රිත නිෂ්පාදන හා අලෙවිය -   තිස්ස බණ්ඩාර මහතා   
  •      ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය   
  •      ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක ඒකකය   
  •      සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

මෙහිදී ඇතැම් රණවිරු කෘෂි නිෂ්පාදන සඳහා දේශීය හෝටල් සඳහා අවශ්‍ය නිශ්පාදන සැපයීමට අවස්ථාවන් උදා කර ගැනීමට හැකිවීමත්, වීදේශීය වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගැනීමේ මූලික පසුබිම සකස් කර ගැනීමට හැකිවීම ද ජයග්‍රහණයකි.